නෙතු ගාව දඟකරන කඳුළු කැටවල සීතල අනේ නුඹටත් දැනෙනවානම්

Sunday, April 14, 2013

බිඳෙනා බව දැන දැනම


පෙති ගිලිහුන දාක 
නොවටින බව මටම කියා
පාට මැකුන දාක 
අගයක් නැතැයි කියා
මලක් සේම රකිනා බව 
දිවුරා කියා
සැගවී ගිහින් නුඹ
මලටත් නොකිය මෙදා

කැටයම් ඔපා හැඩකල 
මගේ හිත් බදුන
පරිස්සමට හදවත 
පතුලේ රැන්දු
බිදෙන් බිද පුරවලා 
ආදර ලේ බිංදු
බිඳෙනා බව දැන දැනම 
අතහැරියා
බිමටම
නුඹ
සිත් රිදවූ

Saturday, April 13, 2013

සුබ පැතුම

රතිංඤ්ඤා සද්දෙ හතර වටින්ම ඇහෙනවා.පුංචි පුතා ඒ සද්දෙට ගැස්සිලා ඇහැරේවි.මගේ හිත එහෙම කියද්දි මම චූටියාව මගේ පපුවට තුරුළු කරගත්තා.හිතුවා වගේම චූටියා රතිංඤ්ඤා සද්දෙට ගැස්සිලා ඇහැරුනා.එයාගෙ හිතේ අම්මගෙ තුරුලෙ ඉන්නවා කියලද කොහෙදො.හීනියට කෙදිරි ගාලා ආයිම නිදාගත්තා.
අම්මයි අක්කයි කිරිබත් හදනවා.
මට මගේ පුංචි කාලෙ මතක් වුනා.ඒ කාලෙ අම්මයි අක්කයි කිරිබත් උයද්දි මමයි තාත්තයි සාලෙ මැද චූටි කිරි මුට්ටියකින් කිරි උතුරවනවා.යාන්තමට මට හිනා ගියා පරණ දේවල් මතක් වෙලා.ඒ කාලෙ අම්මලා කිරිබත් උයන්න කලින් අපේ චුටි කිරි මුට්ටියෙ කිරි ඉතිරෙනවා.මම ඉතින් අක්කට හිනා වෙනවා කිරිබත් උයන්න කලින් අපි කිරි ඉතිරෙව්වා කියලා.
අද අක්කා එයාගෙම කැදැල්ලක අම්මා වෙලා.පුංචි නංගියා වෙලා ඉදපු මම පුංචි අම්මා කෙනෙක් වෙලා.

උදේ ඉදන්ම යාලුවො මැසේජ් එවනවා අලුත් අවුරුද්දට සුබ පතලා.
ඒත් ඔයා තවම මට සුබ පැතුවෙ නෑ.හිතට පුන්චි දුකක් නොදැනෙනවා නෙවෙයි.ඒත් අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන නැකතට මට බෑ අඩන්න .
නොනගතය ලබද්දිම මම ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් සුබ පතලා කෙටි පණිවිඩයක් වගේම ඊ මේල් එකකුත් එව්වා.
සමහරවිට ඔයා තවම දකින්නෙ නැතුවැති මම එවපු සුබ පැතුම.
ඔයා මගේ සුබ පැතුම දැකලත් අඩුම තරමේ එසේම වේවා කියලා වත් එවන්නෙ නෑ කියන ඇත්ත මගේ හිත පිළිගන්න අකමැතියි.ඒත් ඒ බව මම හොදාකාරවම දන්නවා.

ඔයාත් ඔයාගේ ගෙදර අයත් මට කොහොම සැලකුවත් 
ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සතුට පිරුණ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

නුඹේ සුබ පැතුම එනකම් බලන් ඉන්න මම
--- ඔයාගෙ රෝස මල ---

ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

Sunday, March 31, 2013

බලාපොරොත්තුව

චිරි චිරි සද්දෙන් කැරකෙන 
විදුලි පංකාව 
නැහැය විනිවිදයන 
බෙහෙත් ගඳ අස්සේ 
බිංදුවෙන් බිංදුව වැක්කෙරෙන 
සේලයින් බෝතලෙන්
වැටෙනවානම් එකම එක බිඳුවක්
බලාපොරොත්තුවක් දිය කරලා

ඉහ ඉද්දර හැමෝම එකතුවෙලා
හිත හැදෙන කතා දහසක් කියද්දී 
නුඹ නැති අඩුව නෙත් සොයනවා
දොරටුව ළඟ 

අත වනන  මරණය 
පණ ගැහෙන හදවතට
සමුගන්න බෑ දැන්ම 
එනවැති ඔහු  ළඟ ළඟම  

ඉසිඹුවක් අරගන්න අර අදින ජීවිතය
නවතින්න කලියෙන්
එකම එක පාරක් ඇවිත් යනවද
හිනා මලක් අරන් 
මට තියෙනවා කියන්න එකම එක දෙයක්



Sunday, March 24, 2013

පෙම් හසුන


සිව් වසරකට පෙර 
අකුරු ඇමිණූ
පොත් පිටු අතර
නුඹේ මුතු කැට අකුරින්
වදන් කල ආදරය
දැනෙනවා අදටත්
අකුරු අතරින් එන
නුඹේ සුවඳින්

නුඹට අමතක සෙනේහයේ
ලියූ කවි පද සියක් දහසක්
නුබේ වදනින් ඇසෙනවා මට
සිහිනයෙන් මෙන් කොඳුල හඩකින්

අතීතයේ එක ලස්සන දවසක
ආදරෙයි මන් කියූ දෙනෙත් නුඹ
සරසවිය බිම නෙත ගැටුනු අද දින
වෙනත බැලුවේ ඇයිද හිමියනි

මටද අකුරු කල
නුඹේ මහ මෙරක් ආදරේ
ඇයටත් පෙම් පතක 
ලියවෙන වග දැන දැනම
විඳිනවා මම 
මතක සුවද නුඹේ
ආදරය නම්  වෙන්වීමමැයි සිතා