නෙතු ගාව දඟකරන කඳුළු කැටවල සීතල අනේ නුඹටත් දැනෙනවානම්

Sunday, April 14, 2013

බිඳෙනා බව දැන දැනම


පෙති ගිලිහුන දාක 
නොවටින බව මටම කියා
පාට මැකුන දාක 
අගයක් නැතැයි කියා
මලක් සේම රකිනා බව 
දිවුරා කියා
සැගවී ගිහින් නුඹ
මලටත් නොකිය මෙදා

කැටයම් ඔපා හැඩකල 
මගේ හිත් බදුන
පරිස්සමට හදවත 
පතුලේ රැන්දු
බිදෙන් බිද පුරවලා 
ආදර ලේ බිංදු
බිඳෙනා බව දැන දැනම 
අතහැරියා
බිමටම
නුඹ
සිත් රිදවූ

Saturday, April 13, 2013

සුබ පැතුම

රතිංඤ්ඤා සද්දෙ හතර වටින්ම ඇහෙනවා.පුංචි පුතා ඒ සද්දෙට ගැස්සිලා ඇහැරේවි.මගේ හිත එහෙම කියද්දි මම චූටියාව මගේ පපුවට තුරුළු කරගත්තා.හිතුවා වගේම චූටියා රතිංඤ්ඤා සද්දෙට ගැස්සිලා ඇහැරුනා.එයාගෙ හිතේ අම්මගෙ තුරුලෙ ඉන්නවා කියලද කොහෙදො.හීනියට කෙදිරි ගාලා ආයිම නිදාගත්තා.
අම්මයි අක්කයි කිරිබත් හදනවා.
මට මගේ පුංචි කාලෙ මතක් වුනා.ඒ කාලෙ අම්මයි අක්කයි කිරිබත් උයද්දි මමයි තාත්තයි සාලෙ මැද චූටි කිරි මුට්ටියකින් කිරි උතුරවනවා.යාන්තමට මට හිනා ගියා පරණ දේවල් මතක් වෙලා.ඒ කාලෙ අම්මලා කිරිබත් උයන්න කලින් අපේ චුටි කිරි මුට්ටියෙ කිරි ඉතිරෙනවා.මම ඉතින් අක්කට හිනා වෙනවා කිරිබත් උයන්න කලින් අපි කිරි ඉතිරෙව්වා කියලා.
අද අක්කා එයාගෙම කැදැල්ලක අම්මා වෙලා.පුංචි නංගියා වෙලා ඉදපු මම පුංචි අම්මා කෙනෙක් වෙලා.

උදේ ඉදන්ම යාලුවො මැසේජ් එවනවා අලුත් අවුරුද්දට සුබ පතලා.
ඒත් ඔයා තවම මට සුබ පැතුවෙ නෑ.හිතට පුන්චි දුකක් නොදැනෙනවා නෙවෙයි.ඒත් අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන නැකතට මට බෑ අඩන්න .
නොනගතය ලබද්දිම මම ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් සුබ පතලා කෙටි පණිවිඩයක් වගේම ඊ මේල් එකකුත් එව්වා.
සමහරවිට ඔයා තවම දකින්නෙ නැතුවැති මම එවපු සුබ පැතුම.
ඔයා මගේ සුබ පැතුම දැකලත් අඩුම තරමේ එසේම වේවා කියලා වත් එවන්නෙ නෑ කියන ඇත්ත මගේ හිත පිළිගන්න අකමැතියි.ඒත් ඒ බව මම හොදාකාරවම දන්නවා.

ඔයාත් ඔයාගේ ගෙදර අයත් මට කොහොම සැලකුවත් 
ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සතුට පිරුණ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

නුඹේ සුබ පැතුම එනකම් බලන් ඉන්න මම
--- ඔයාගෙ රෝස මල ---

ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.